තෙවන ලොවේ සුභසිහිනය : හියුගෝ චාවේස්

DSC00037

           ගෝලීය කරණයෙන් අසරණ භාවයට පත් වෙලා ඉන්න තුන්වැනි ලෝකයේ අයට මානසිකව හෝ සහනයක් ගෙනෙන ආදර්ශයක් ඇත්නම් ඒ " හියුගෝ චාවේස්" පමණයි.
           ඇ.එ.ජ. මුල් කොට ගත් ආර්ථික ඝාතකයන්ගේ ලෝක ව්‍යාප්ත ජාල මගින් ස්ථාපනය කරන ලද නව යටත් විජිතකරණය ඉදිරියේ, පසුගාමී දෙශීය ජන කොටස්වල අතීත උරුමය පාදා ගනිමින් ඔවුන්ගේ ජීව ශක්තිය එකමුතුකොට ඉදිරියට මෙහෙයවන ජාතිකවාදී පිළිවෙතක් මේ අභියෝගයට ජයගත හැකිය යන පණිවුඩය චාවේස් මේ පොතෙන් අපට ලබා දෙනවා.
          සමකාලීන මාධ්‍ය විචාරකයෙකු වන රිචර්ඩ් ගොට් [Rachard Gott], මේ අරුමැසි රාජ්‍ය නායකයා ඔහුට හිමි ඓතිහාසික පර්යාවලෝකනය තුල සිටුවමින්, ඔහුගේ සැලසුම් සහ වැඩසටහන් මේ කෘතිය තුළින් පරික්ෂාවට ලක් කරනවා.
         ඉතා සුනම්‍ය වූ වහරකින් මේ පොත ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්තනය කොට තිබෙනවා. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් වන මෙය, මිලෙන් රුපියල් 550ක් වෙනවා. මිලේ පුංචි වැඩිවීමක් උනත් පොතෙ තිබෙන වටිනා කමෙන් නම් අගය බොහෝම වැඩිවෙනවා.
මුළදී මුළදී කියවන්නට පොඩි කම්මැළි කමක් ආවත්.., කතුවරයාගේ වහර හා ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උනන්දුවක් වන කෙනෙකුට නම් මේ පොත මහඟු දායාදයක් වේවි.

පසු සටහන්..,

තෙවන ලොවේ ආස්වාදය : හියුගෝ චාවේස් සහ ජාතික විප්ලවය
ප්‍රථම මුද්‍රණය : 2008 ශ්‍රී ලංකාව 
සිංහලයට පරිවර්තනය : ලීලානන්ද ගමාච්චි
ISBN 978-955-6524-71-0

පොත් දෙකක් කතා ගොඩක්..!

 

    book1

එකකට එකක් වෙනස් කතා 45ක එකතුවක් පොත් දෙකක් ලෙස එලිදක්වලා තියෙනවා. මේ පොත් දෙකේම කතුවරයා තමා අපි කවුරුත් හොඳින් අඳුනන " චන්දන මෙන්ඩිස් " මහත්මයා.
     සමර්සෙට් මෝම්, ගී ද මෝපසං, එඩ්ගාර් ඇලන් පෝ, රබින්ද්‍රනාත් තාගෝර්, ඕ. හෙන්රි, ලියෝ තොල්ස්තෝයි, මක්සිම් ගෝකි, ප්‍රේම්චාන්ද්, තාරා ශංකර්, ශිග නඔය, කුශ්වන්ත් සිං වැනි ලෝක පූජිත ලේඛකයන් ගේ කෙටි කතා රචනා හතලිස් පහකින් මේ පොත යුවල හැඩවී තියෙනවා.
      ජීවිතයේ සිද්දවෙන විවිධාකාර හැල හැප්පීම්.., හරිම විචිත්‍ර ලෙස ප්‍රතිනිර්මාණය කරලා ඔවුන් අපි ඉදිරියේ තබනවා.
කතුවරයාගේ ප්‍රකාශන කර්තව්‍යක් ලෙස එළිදක්වා ඇති මේ පොත් යුවල එකක් මිලෙන් රුපියල් 450.00 වෙනවා. මිල ගැන නොසිතා සාහිත්‍යමය වටිනා කම ගැන සිතා මේ පොත් දෙස බැලුවහොත් පොතෙ පිටුපස මුද්‍රිත මිලර්ට වඩා දහස් ගණ්නක වටිනා කමක් ඔබට දකින්නට ලැබේවි. 
     තව නොබෝ දිනකින් ආරම්භ වන්නට නියමිත අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී ඔබට මේ පොත විශේෂ වට්ටම් සහිතව මිලට ගන්නට පුලුවන් කම ලැබේවි.

පසු සටහන්..,

ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කතා
ප්‍රථම මුද්‍රණය : 2007 ශ්‍රී ලංකාව
දෙවන මුද්‍රණය: 2008 ශ්‍රී ලංකාව
සිංහලයට පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ISBN 978-955-1262-04-4
________________________

ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කතා 2 සොඳුරු සිතුවම්
ප්‍රථම මුද්‍රණය : 2008 ශ්‍රී ලංකාව
සිංහලයට පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ISBN 978-955-1262-09-1

“අදහස්” - කියවන්නේ නැතුව අතහරින්න එපා..!

idea book

මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්‍රෙඩ්‍රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න විසින්. ඒවාගේම මෙය “interesting.org” ආයතනයේ ලාභය බලාපොරොත්තු නොවන ඉදිරිපත් කිරීමක්. පොත පෙරලද්දී අනෙක් සාමාන්‍ය පොතක් වාගේම වෙනසක් නොදැනුනත්.., පෙරවදනේ සිට දිගටම කියවාගෙන යද්දී.., මට දැනුනේ කියා ගත නොහැකි තරමේ ඓශ්චර්යක්.., මක් නිසාද කියනවා නම් මේ පොත ගැන මම මෙතෙක් කල් දරපු මත සියල්ලම පළමු පිටුව කියවනා විටම වාගේ බිඳවැටුණු නිසා.
හරිම පුදුමාකාර විදියට හැම දේ ගැනම වෙනස් විදියට හිතන්න උගන්වන පොතක්.. කංචුකය වගේම මෙහි ඇතුලාන්තය ද හරිම සිත් ගන්නා සුළුයි. විවිධාකාර අදහස් 150ක් ගැන මේ පොතේ අඩංගු වෙනවා. ඒ වගේම ඒ හැම අදහසක් ගැනම අපේ අදහස් ලියන්නට මෙහි තවත් පිටු 150ක් අඩංගු වෙනවා. වඩාත් සිත් ගන්නා සුළු දෙය තමා.., මේ පිටු 150., ඔබගේ සටහන්.., නිරීක්ෂණ හා කුරුටුගෑම් සහිත අදහස් වලින් පිරුණු අංග සම්පූර්ණ "අදහස්" පුස්තකයක් වීම.

හොඳ අදහස් ලියාතැබිය යුතු..

"හොඳ අදහස් විහින්ම පහළ නොවන්නේය" යන පදනම මත මේ පොත සකස් වෙලා තියෙනවා. එහි සඳහන් ආකාරයට අදහස් අප විසින්ම උපද්දවා එළි දැක්විය යුතුයි. අණුප්‍රාණවත් කිරීම හා පෙළෙඹවීම [inspiration and motivation] යන කාරණා දෙක.., අදහස් එලියට මතුකර ගැනීමේ ප්‍රධානතම ක්‍රමෝපායන් වනවා. මගේ අතට පත් වෙලා තියෙන මේ පොතේ පරමාර්ථයත් එයමයි.

ඉකමනින් කියවා ධාරණය කරගත හැකි, නිර්මාණකරණය හා ඊට අදාලව, ඇල්බට් අයින්ස්ටයින් [Albert Einstein] ඉන්ග්වාර් කෙම්ප්‍රඩ් [Ingvar Kemprad] [IKEA සමාගමේ නිර්මාතෘ] වනි සභාවනීය විද්වතුන් හා ව්‍යාපාර අධිපතීන්ගේ ප්‍රකාශ වලින් ලබාගත් උපුටා ගැනීම් රාශියක් සහිත මාතෘකා ගණනාවක් ඇතුලත් ඡේද 60 කට අධික සංඛ්‍යාවක් මෙම පොතෙහි අන්තර්ගත වෙනවා.

මට මේ පොත ලබා දුන් ඒ මල්ලී මේ පොත මිලදී ගෙන තිබෙන්නේ නුගේගොඩ සරසවි පොත් හලෙනුයි. මිල රුපියල් 385.00 පමණ වෙනවා. මට හිතෙන විදියට මිලට වඩා දසදහස් ගුණයක් වටින පොතක් ඔබත් අරගෙන කියවන්න.

පසු සටහන්..,

"අදහස්" පොතේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
"අදහස්" පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ සාමපලයක් භාගත කරගන්න.

පරිවර්තනයක් නම් මෙහි මුල් කතුවරයා : ෆ්‍රෙඩ්රික් හරේන්
ප්‍රථම මුද්‍රණය : 2004 ස්ටොක් හෝම් , ස්වීඩනය
සිංහලයට පරිවර්තනය : එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න
ප්‍රථම සිංහල මුද්‍රණය : 2008 කොළඹ , ශ්‍රී ලංකාව.
ISBN 978-956-50567-0-0

 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න